කැළි කසළ තුළින් ව්‍යවසායකත්වයට

කැළි කසළ තුළින් ව්‍යවසායකත්වයට

ව්‍යවසායකත්වය අදවන විට බෙහෙවින්ම ප්‍රසිද්ධ වූ දෙයකි. අලුත් අලුත් වූ දේවල් ලෝකයට තිළිණ කරමින් බොහෝ අය ව්‍යාපාර ලෝකයට පිවිසේ. අද අපි vyapara.lk තුළින් ඔබට ගෙනෙන්නට යන්නේ එවැනිම ව්‍යවසායකයෙකු ගැනයි. කැළි කසළ ආදායම් මාර්ගයක් හැරවූ ඒ ඉංජිනේරුවා ගැනයි.

ඔහු ඉංජිනේරුවෙකි. නව නිපැයුම්කරුවෙකි. සමාජ සම්පතක් වූ මිනිසෙකි. ඔහු භාවිතයෙන් ඉවත දමන ප්ලාස්ටික්, පොලිතීන් , ලන්ච් ෂීට් වැනි ද්‍රව්‍ය කුඩා කොටස්වලට වෙන් කර නැනෝ තාක්ෂණය උපයෝගී කර ගිනිමින් විසිතුරු ගඩොලක් නිපදවා තිබේ. මෙම ගඩොල සුවිශේෂි වන්නේ අවම පිරිවැයකින් එය නිපදවීමට ඇති හැකියාව මෙන්ම භාවිතයෙන් පසුවත් ප්‍රතිචක්‍රීයකරණය කිරීමට ඇති හැකියාවයි.

වෙළඳපලේ ඇති අනෙකුත් ගඩොල් වලට වඩා මෙම ගඩොල භාවිතයෙන් අධික උෂ්ණත්වයක් පවතින කාලයක පරිසර උෂ්ණත්වය 25% කින් පමණ අවම කරලීමට ද හැකියාව ලැබෙයි. දහවලට එක් වර්ණයකුත් රාත්‍රියට තවත් වර්ණයක් ගැනීම ද මෙම ගඩොලේ ඇති සුවිශේෂිතාවයකි.

මිනිසාගේ ශරීර උෂ්ණත්යට පවා සංවේදී වන මෙම ගඩොලෙන් කෑගල්ලට ඇති වැදැගත්කම කුමක්දැයි ඔබට සිතෙනවා විය හැකිය. ඊට හේතු දෙකකි. ඉන් පළමු වැන්න නම් කඳු සහ බෑවුම් සහිත භූමියකින් සමන්විත වන දිස්ත්‍රික්කයේ පාරවල් නිමකිරීම සඳහා මෙම ගඩොල යොදා ගැනීමට ඇති හැකියාවයි.

එය අවම පිරිවැයකින් සිදු කළ හැකිව තිබේ. සාමාන්‍යයෙන් කඳු සහිත පාරවල් සාදා නිමකිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදු වන අතර මෙම ගඩොල භාවිතයෙන් ඉතා අවම පිරිවැයකින් පාරක් නිම කළ හැකිය. අනෙක් අතට මෙම ගඩොල නාය අවදානම් බහුල කෑගල්ලට සුදුසුම විකල්පයකි. ඒ ජලය උරා ගැනීම අවම මට්ටමේ පවතින බැවිනි.

දෙවැන්න මෙමගින් දිස්ත්‍රික්කයේ ප්‍රතිචක්ක්‍රීයකරණය කළ නොහැකි පොලිතීන් සඳහා නිවැරදි විසඳුමක් හිමිවීමයි. කැලි කසළ අවම දිස්ත්‍රික්කයක් බවට කෑගල්ල පත්කරලීමට එමගින් හැකි වනු ඇත.

ඉංජිනේරු රඛිතගේ මෙම තාක්ෂණයත් සමඟ කෑගල්ලේ පළමු ව්‍යාපෘතිය මාවනැල්ලේ දී ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ. ඒ සඳහා නියමු ව්‍යාපෘතිය සඳහා මාවනැල්ල තෝරා ගන්නේ මාවනැල්ල ප්‍රාදේශීය සභාව කැලි කසල වැඩි ප්‍රමාණයක් එක්රැස් වන පළාත් පාලන ආයතනයක් වන බැවිනි.

මේ තාක්ෂණය දිස්ත්‍රික්කයේ අවශ්‍යතා සමඟ නිසිපරිදි ගලපා ගැනීමට හැකියාව ලැබේ නම් කෑගල්ලේ මාර්ග ඉඳිකිරීම් ක්ෂේත්‍රෙය් සෑහෙන ප්‍රමාණයක ගැටළු විසඳා ගැනීමට මෙන්ම කුණු ප්‍රශ්නයට ද තිරසාර විසඳුමක් ලැබෙනු ඇත.

Leave a Reply